Saturday 30th of May 2026

English Tamil
Advertiesment


එජාප භූතයෝ -ප්‍රේතයෝ සහ කුම්භාණ්ඩයෝ


2025-06-20 14896

දකුණු සහ වම විදිහට තියන දේශපාලන බෙදීම තවමත් අඩු වැඩි වශයෙන් තියනවා.ගොඩක් අය අතර නම් දැන් ඒවා සංකල්ප විතරයි.සමහරු වම සහ දකුණ මාරු කරගෙනත් දේශපාලනය කරනවා. දකුණු කඳවුරේ එකතුව සම්බන්ධ සාකච්ඡාව එජාපය දෙකඩ ව්මත් එක්ක ආරම්භ උන එකක්.පහුගිය ජනාධිපතිවරණයේදීත් දකුණේ කඳවුර එකතුවෙන්න ඕනි කියන සාකච්ඡාව ආව.ඒත් සජිත් සහ රනිල් අතර තිබුණ නයි මුගටි වෛරය විසින් ඒ ගැන හිතන්නවත් බැරි තත්වයක් නිර්මාණය වෙලා තිබුනා.

ඒකේ අවසන් ප්‍රථිපලය උනේ රනිල් සහ සජිත් දෙන්නම පැරදිලා අනුර ජයග්‍රහණය කරීමයි.ඊළඟට ආපු මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයටත් වඩා ප්‍රබල විදිහට දකුණේ එකතුව සම්බන්ධ සාකච්ඡාව මතුවුනත් ජනාධිපතිවරණය ඇතුලේ සජිත් සහ රනිල් තවත් ඇත්වෙලා තිබුණ නිසා දකුණ එකතු කිරීමේ දෙවෙනි උත්සාහයත් අසාර්ථක වුනා.පාර්ලිමේන්තු මැතිවරණයේදිත් සුපුරුදු විදිහටම දකුණේ කඳවුරට උරුමවුනේ පරාජය.

පලාත් පාලන මැතිවරණයේදී දකුණේ එකතුවක් ගැන සාකච්ඡාව නැවත ආවත් ඒකත් කෙරුණේ නෑ.සජබය සහ එජාපය දෙකම අඩු වැඩි වශයෙන් පැරදිලා පස්ස බිම ඇණගෙන තියෙද්දිත් ඒ එකතුව හදාන්න තවමත් බැරිවෙලා තියනවා. කොහොම උනත් පාලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විසින් විපක්ෂයට එකතු වෙන්න ඕනි කියන පණිවිඩය දීලා තියනවා.

විපක්ෂය එකතු විය යුතු උනත් විපක්ෂයේ ඉන්න දකුණේ කඳවුරටවත් එකතු වෙන්න බැරිනම් විපක්ෂයේ ඉන්න වම සහ දකුණේ එකතුවක් ගැන කවර කතාද?අද මේ වෙනකොට අපේ රටේ විපක්ෂය පොඩි පොඩි කෑලි ගණනාවකට බෙදිලා සිල්ලර දේශපාලනයක යෙදිලා ඉන්නවා.එයාලා අතර පොදු එකඟතාවක් හදන්න බෑ.එක්සත් ක්‍රියාමාර්ග එයාලා අතර නෑ.ඔහේ යන්නං වාලේ යන, පෞද්ගලික අභිමතාර්ථ මුල් කරගත්ත විපක්ෂයක් තමයි තියෙන්නේ.

දකුණු කඳවුරේ එකතුව ගැන කතා කරනකොට අපට ආයෙත් කතා කරන්න වෙන්නේ සජබ සහ එජාපය ගැනයි. සජබය එජාපයට වැඩිය ඡන්ද පදනමෙන් ඉදිරියෙන් හිටියත් දෙපැත්තම ඉන්නේ පරාජිත ගොඩේ.පරාජිත ගොඩේ ජයග්‍රාහකයා වෙන්න දෙපැත්තම අසාර්ථක උත්සාහය යෙදිලා ඉන්නවා. ඇත්තම කිව්වොත් සජබය සහ එජාපය සංසන්දනය කරද්දී ඒක හරියට හිසක් සහ කවන්දයක් වගේ.මේ දෙක වෙන වෙනම තියෙනකං කවදාවත් ඒ දෙකටවත් මේ රටටවත් වැඩක් නෑ.

සජබ කවන්දයට හිසක් ඕනි.එජාප හිසට කවන්දයක් ඕනි.ඇත්තටම මේ කවන්දය සහ හිස එකිනෙකට ගැලපෙනවා.තියෙන ප්‍රශ්න ඒක හයි කරන්න කෙනෙක් නැති එකයි.මෙතනදී අද අපි කතා කරන්නේ එජාප හිසට සජබ කවන්දය හයි කරන්න බැරි එජාපය පැත්තේ තියන අවුල ගැනයි. පහුගිය පලාත් පාලන මැතිවරණයේදී එජාපයට හිමිවුනේ හතරවෙනි ස්ථානයයි.මාලිමාව,සජබය සහ පොහොට්ටුව එජාපයට උඩින් හිටියා.

එජාපයට පහලින් ගොඩ දෙනෙක් හිටියත් එජාපයට ආසන්න තරඟය දුන්නේ පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලයයි.එජාපයේ මැතිවරණ ඉතිහාසය එක්ක සන්සන්දනය කරද්දී මේ මැතිවරණය ක්‍රියාවලිය ඇතුලේ එජාපයට හිමිවෙලා තියෙන්නේ දැවැන්ත පරාජයක් .ජනාධිපතිවරණයේදී ස්වාධීනව තරඟ කරපු එජාප අපේක්ෂකයා පරාදවුනා. පාර්ලිමේන්තු මැතිවරණය ඇතුලේ අලියා ලකුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉන්නේ ජීවන් තොණ්ඩමන් විතරයි.

ඒ කියන්නේ අද අලියා කුකුළෙක් බවට පත්වෙලා.දැන් ජීවන් තොණ්ඩමන් ඉන්නේ මාලිමාව එක්ක.පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එජාපය විදිහට පෙනී ඉන්න රවී කරුණානායකට එජාපයේ දොර වහලා.පාලාත් පාලන මැතිවරණයේදී එජාපය හැමදාම රැකගත්ත කොළඹ මහ නගර සභාවෙන් එජාපය පැරදිලා කුල්ල කුජීත වෙලා ගියා. ගිය පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවෙන් මන්ත්‍රීධූර 59 ක් දිනාගත්ත එජාපය මේ පාර 13ට වැටිලා.

එජාපයට හිමිවුනේ තුන්වෙනි ස්ථානය. ඇත්තටම එජාපයට මොකද වුනේ.රනිල් වික්‍රමසිංහ පරිනත සහ සූක්ෂම දේශපාලන චරිතයක්.හැබැයි රනිල්ගේ සමාජ විඥානය nill.රනිල්ට එජාපයත් එක්ක දාන සෙල්ලම් දාන්න තියෙන්නේ තව අවුරුදු හතරයි. කොහොම උනත් දැන් රනිලුත් එජාපය ගොඩදාන්න බැරි බව තේරුම් අරන් තියනවා වගේ.රනිල් අලුත් පක්ෂයක් ගැන කතා කරනවා.මේ වෙලාවේ රනිල් හදන අලුත් පක්ෂයක් මොනතරම් දුරට ප්‍රායෝගික වෙයිද කියලා කියන්න බෑ.

ඇත්තටම මේ රටට දැන් ඕනි තවත් පක්ෂයක් නෙවෙයි පළල් මහජන ව්‍යාපාරයක්.රනිල්ට තවමත් තියෙන්නේ එකම එක උත්තරයයි ඒ එජාපයට නැගිට්ටවීම විතරයි.එජාපය නැගිට්ටවීම රනිල්ට කරන්න බෑ.හැබැයි එජාපය නැගිට්ටවීමට අවශ්‍ය පරිසරය හදන්න රනිල්ට පුළුවන්.ඒක නොකර රනිල් මොන වැල් බයිලා ගැහුවත් රනිල් එජාපය විනාශ කළා කියන චෝදනාව අවසානයේදී රනිල්ට එල්ලවෙනවා.

රනිල් 2022 ඉඳන් 2024 අවසානය වෙනකම් මේ රටට අතිමහත් සේවයක් කළා.ඒ ගෞරවය රනිල්ට දෙන්න රටේ රාළ කිසිවිටකවත් පැකිලෙන්නේ නෑ. හැබැයි රනිල් එජාපය එක්ක කළේ සහ තවත් කරන්නේ third class දේශපාලනයක්.රනිල් එජාපයට කරපු ආදේශක වැරදියි.උදාහරණයක් විදිහට රනිල් සාගලව මාතරින් ගලවලා කොළඹට ගෙනාවා.හැබැයි කොළඹදී සාගල සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.ඕනිම දුෂ්කර අවස්ථාවකදී එජාපයේ ගෞරවය රැකලා දුන්න කොළඹ මහ නගර සභාවේ බලයත් සාගල ඇවිත් එජාපයට නැතිම කළා.

ඇත්තටම මේ තත්වය යටතේ උනත් කොළඹ නගර සභාවේ බලය ගන්න රනිල් රවීගේ මැදිහත්වීමක් කරන්න තිබුණා.රවීගෙන් හිස්වුන එජාප කොළඹ දිස්ත්‍රික් නායකත්වයේ හිස්තැන පුරවන්න නෙවෙයි පුරවන්න හිතන්නවත් සාගලට බැරිවෙලා තියනවා. සාගල සහ රවී අතර තියන දේශපාලන හෝ පෞද්ගලික ප්‍රශ්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි එජාපයේ කොළඹ බිඳවැටීමට ඇත්ත හේතුව සාගලයි.රවී නිතරම එජාපය භූතයෝ දෙන්නෙක් අතට පත්වෙලා බව කියනවා.

තලතා එජාපය හරි තැනට ගන්න හදන උත්සාහ දවසින් දවස අසාර්ථක වෙන බව පේනවා.රටේ රාළට හිතෙන්න රවී පාව්චිචි කරන භූතයෝ කියන වචනය වැරදියි කියලයි.දේශපාලන වශයෙන් හිතුවොත් දැන් එජාපය අයිති කරගෙන ඉන්නේ රවී කියන භූතයෝ නෙවෙයි.ඇත්තටම දැන් එජාපය දේශපාලන පෙරේතයෝ සහ කුම්භාණ්ඩයෝ අතට පත්වෙලා ඉවරයි.

මෙහෙම ගියොත් එජාපයට ගමනක් නෑ.සජිත්ටත් ගමනක් නෑ.වෙන්න පුළුවන් එකමදේ වම සහ දකුණ එකතු කරලා රාජපක්ෂලා ආයෙත් පාලමක් හදන එකයි.රටේ රාළ ඒකටත් එකඟ නෑ.දැන් අලුත් ගමනක් මේ රටට ඕනි.

- රටේ රාළ -
Advertiesment